අවට බලන බලන කපොල්ල

කොළඹින් හිමිදිරියේ පිටත් වූ අප වාහනය උඩරට රාජධානියට පිවිසෙන කඩුගන්නාව කන්ද තරණය කිරීමට පටන් ගත්තේ ය. අද කොළඹ සිට මහනුවරට යන ප්‍රධාන මාර්ගය මෙය වුවත් රාජධානි සමයේ දී එම මඟ වැටී තිබුණේ බලන කපොල්ල හරහා ය.1824 දී ඉංගී‍්‍රසින් කොළඹ නුවර පාර ඉදි කිරීමෙන් පසු එම දුෂ්කර මඟ භාවිතය අත් හැරුණි. එයට පෙර මහනුවර මාර්ගය වැටී තිබුණේ හංවැල්ල, අවිස්සාවේල්ල, බුලත්කොහුපිටිය, අලුත්නුවර, ගනේතැන්න, බලන හරහා ය. මෙම දුෂ්කර මාර්ගය සතුරු සේනාවන්ට පහසු නොවීය. එය උඩරට රාජධානියේ ස්වාධීනත්වය ආරක්ෂා වීමේ ප්‍රධාන සාධකයක් විය.කඩුගන්නාව දුම්රිය පළ අසලින් ඇරැඹෙන පොත්තපිටිය පාරේ කිලෝ මීටර 5 ක් ගමන් කර, බලන දෙසට ඇති අතුරු මාර්ගයේ ගමන් කළ විට පුරාණ බලන කපොල්ල පිහිටි පෙදෙසට පිවිසිය හැකිය. එදා වන දුර්ග, තහංචි කැලෑවලින් පිරි මෙහි පැවතියේ කුඩා අඩි පාරක් පමණි.
 |
ඉංගිරිසින් දුටු බලන |
ඉංගී‍්‍රසි පාලන සමයේ දී මේ අවට කඳු හිස් වසා ගෙන පැතිරුණු තේ වගාව අදටත් දැකගත හැකි ය. රාජධානි සමයේ දී කාර්යබහුල, මුර කපොල්ලක් වූ බලන රජුගේ අවධානය නිතර යොමු වූ ස්ථානයක් විය. අද මේ පෙදෙසට එවැනි වැදගත්කමක් හිමි නොවේ. එය අද උඩරට පිටිසර පෙදෙසක් පමණි.බලන කොටුව පිහිටා තිබෙන්නේ කඳු මුදුනක බෑවුමකට මුහුණලා ය. එයට පිවිසීමට මහා මාර්ගයේ සිට මීටර 500 ක් පමණ තේ වත්තක් හරහා කඳු නැගිය යුතු ය. ගස්වැල් පිස හමන සුළඟ අපගේ වෙහෙස පලවා හරී. අවට රුක් ගොම්මන්වල සිට ඇදී එන්නේ කුරුලු කිචිබිචියයි. උඩරට රාජධානි යුගයේ දී අපේ වීර සෙබළුන් යුරෝපීය ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව මේ අවට දී දිවි නොතකා සටන් කරන්නට ඇත.පහතරට උඩරට යා කරන කඩවත පිහිටියේ ද බලන ය. පහතරට සිට එන වෙළෙන්දන් සහ මගීන් ද මෙම කඩවතින් උඩරටට ඇතුළුවිය යුතු විය. එය මාර්ගයේ පිහිටි ආරක්ෂක මුර කපොලු සහිත ස්ථානයකි. මෙම කඩවත බලකොටුවේ සිට කිලෝ මීටරයක් පමණ ඔබ්බෙන් පිහිටා තිබිණ.‘ඔත්තු බැලීම’ යන අර්ථයෙන් මෙය බලන යනුවෙන් හඳුන්වා ඇත. මේ කොටුව සටන් කිරීම සඳහා ඉදි කළ විශාල බළකොටුවක් නොව ඔත්තු බැලීම සඳහා තැනූ කොටුවකි. ඉදිරියෙන් බලන කොටු ප්‍රාකාරයත් ඒ මැදින් පිවිසීම සඳහා ඇති පියගැට පෙළත් අපට දිස් වේ.

අපි පියගැට නැඟ කොටු බිමට පැමිණියෙමු. එය අක්කර දෙකක පමණ තැනිතලා බිමකි. කඳු මුදුනක පිහිටි එහි එක් පසෙකින් හතර කෝරලේ දෙසට සෘජු බෑවුමකි. මේ නිසා පහතරට පෙදෙස ඉතා අපූරුවට මෙහි සිට දිස් වේ.උඩරට රාජධානි සමයේ දී හතර කෝරලේ ගල්බඩ කෝරලේ මායිම වැටී තිබුණේ බලන හරහා ය. අද මෙම පෙදෙස අයත් වන්නේ යටිනුවර කඳු පළාතට ය. මුහුදු මට්ටමේ සිට අඩි 2000 ක් පමණ උසින් පිහිටි බලනට දිස්වන හතර කෝරලේ කඳු අතර උසින් නැගී සිටින්නේ බතලේගල ය. ඊට මෙපිටින් ඌරාකන්ද සහ දෙවනගල පර්වතය කැපී පෙනෙනවා. මාවනැල්ල නගරයේ ගොඩනැගිලි කුඩා ගිනිපෙට්ටි පරිදි අපට දැක ගත හැකි වෙයි.සම චතුරස්‍රාකාර ආකාරයක් ගන්නා බලන කොටුව දිගින් අඩි 102 ක් ද පළලින් අඩි 116 ක් ද වේ’ දැනට දැක ගත හැක්කේ කළුගලින් ඉදි කළ පදනම් ප්‍රාකාරය පමණි. එය අඩි 4 ක ඝනකමෙන් යුක්තය. මෙය බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නැවත ප්‍රතිසංස්කරණය කරන්නට ඇති බව පෙනේ. කොටුවේ සිවු පසින් වක්‍රාකාර මුර අට්ටාල පිහිටා තිබුණු බව අත්තිවාරමෙන් පැහැදිලි වේ.මේ අසල පිහිටා ඇත්තේ අමුණුපුර ගම්මානයයි. අම්බලම්තැන්න, ඉහළ කෝට්ටේ, මාවෙල, දෙකිඳ, මොටන, ගොඩිගමුව, කැටකුඹුර, ගල්ලංග, මාලිගාතැන්න යන ගම්මාන අවට පිහිටා තිබේ.උඩරට රාජධානි යුගයේ දී රජු පැමිණි විට නවාතැන් ගැනීමට ගිමන් මාලිගාවක් ද පිහිටා තිබුණු බව පැවසේ. බ්‍රිතාන්‍ය යුගයේ දී මෙම වටිනා බිම්කඩ කුඩා දුරයා නමැත්තකුට අලෙවි කර ඇත. ඔහු එහි නිවසක් තනා අවට බිම් වගා කිරීමට යොදා ගෙන තිබේ. එහිදී පැරණි නෂ්ටාවශේෂ රැසක් විනාශ වන්නට ඇතැයි සිතිය හැකි ය.බලන පිළිබඳව ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ 1 වැනි විමලධර්මසූරිය රජ සමයේ දී ය. පේරෝ ලොර්පස් ද ස්වුසා යටතේ පෘතුගීසි බලඇණියක් 1594 ඔක්තෝබර් මාසයේ දී බලන හරහා උඩරටට පැමිණියේය. දන්තුරේ සටනින් ඔවුන් අන්ත පරාජයකට පත් කළ විමලධර්මසූරිය පෘතුගීසින් සමඟ සිටි රාජ්‍ය උරුමය සහිත කුසුමාසන දේවිය ද ලබා ගත්තේ ය.
 |
බලන කොටු ප්‍රාකාරය |
මේ පරාජය පිළිබඳව පෘතුගීසි ලේඛක ජොආඕ රිබෙයිරෝ මෙසේ සඳහන් කරයි.“වනයේ සිට ඊතල හා වෙඩි උණ්ඩ වර්ෂාවක් අප වෙත හෙළීය. අපේ හේවායෝ බලනෙන් පසු බැසීමට පටන් ගත් නමුත්, පාර හරහා ගස් කපා දමා අවහිර කර තිබුණෙන් ඔවුහු සියලු දෙනාම මරු වැළඳ ගත්තෝ ය.” (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, ටී. කේ. රුබේරු)ඊට පසු 1603 දුරුත්තේ දී යළිත් වරක් පෘතුගීසිහු උඩරට ආක්‍රමණය කළහ.“සීමන් සිංඤෝ, සමරකෝන් මුදලි හා අසවේදු යටතේ ඒකාබද්ධ හමුදාවක් බලනට පහර දුන්නේ ය. මුලදී ඔවුන්ගේ ප්‍රහාරවලින් ප්‍රතිඵලයක් නොලැබිණි. කඳු හෙල් නිසා ලොකු කාලතුවක්කු යොදා කොටුවට වෙඩි තැබීම ද නොකළ හැකි විය. බලන අල්ලා ගැනීම පිළිබඳව විමසිල්ලෙන් සිටින විට, සිංහලයකු ඒ කොටුවට හොර පාරක් පෙන්වා දීමට ඉදිරිපත් වූයෙන් පෘතුගීසි බලඇණියක් නොඉවසිල්ලෙන් කොටුවට ඇතුළු විය. එය උඩරැටියන්ගෙන් හිස්ව තිබිණ. බලන පෘතුගීසින් යටතට පත්වූයේ 1603 පෙබරවාරි 2 දා ය.” (පරංගි කෝට්ටේ, ටිකිරි අබේසිංහ)

එහෙත් විමලධර්මසූර්ය රජු කොටුව හැර යාමට අණ දී ඇත්තේ යුද උපක්‍රමයක් වශයෙනි. කොටුව අල්ලා ගෙන දින 5 කදී පෘතුගීසින් සමඟ සිටි සිංහල භටයෝ සියලු දෙනාම උඩරට රජුගේ පැත්තට එක්වූහ. අසවේදු වහාම කොළඹට පසු බැසීමට අණ දුන්නේ කළ හැකි වෙනත් කිසිවක් නැති හෙයිනි. මෙහි දී ද සිංහලයන්ගේ සැඟ වී සිට පහර දීමේ යුද උපක්‍රම හමුවේ පෘතුගීසි ලෙයින් බලන අවට පෙදෙස තෙත් විය. රිබෙයිරෝ පවසන්නේ පෘතුගීසි හේවායන් 300 ක් සහ ලස්කිරිඤ්ඤ හේවායන් රැසක් ද මෙම සටනේ දී මරු වැලඳ ගත් බව යි.අපි කොටුවේ එක් අන්තයකට පැමිණ ඈත දර්ශනය බලා සිටින්නට වූයෙමු. අප සිත අතීතයට දුව යයි; තුරු පත්වල හරිත පැහැය අවට සිසාරා යන නෙතට ලක් වෙයි; මද නල වැදී මේ තුරුපත් නලියන්නේ සිහින් නාදයක් නිකුත් කරමිනි. මේ අපූරු සුසංයෝගය සිත ශාන්තියට පත් කරවයි.උඩරට ආක්‍රමණය කිරීමේ දී ඉංගී‍්‍රසිහු ද බලන කපොල්ලේ දී විශාල දුෂ්කරතාවලට ලක් වූහ. 1818 දී උඩරටට ගිය ගමනක දී මේජර් තෝමස් ස්කිනර් නම් ඉංගී‍්‍රසි ජාතිකයා ඒ බව මෙසේ ස්මරණය කරයි.“දෙවැනි දින ගමන බලන කඩවත පහළට විය. මෙයට අවුරුදු හතරකට පෙර මපියාණන් මහනුවර අල්ලා ගැනීම සඳහා ඔහුගේ කාලතුවක්කු සමූහය ගෙන ආයේ මේ දුර්ගය ඉහළට ය. මෙයින් එක් කාලතුවක්කුවක් රාත්තල් 42 ක් තරම් බර විය. මේ කටයුත්ත මගේ මවිතයට හේතු විය. තුවක්කු, ගසකින් තවත් ගසකට ඇද බැඳීමෙන් මෙසේ කෙරිණැයි මම පසුව දැන ගතිමි. මේ දුර්ග මාර්ගය බෙහෙවින් පටු, අබලන්, ප්‍රපාතාකාර ගල් සහිත එකක් හෙයින් කිසි අයෙකුට හෝ අසරුවකුට මෙය පසුකර යා නොහැකිය.” (ලංකාවේ පනස් වසක් - මේජර් තෝමස් ස්කිනර්)බලන කොටුව අවසන් වරට යටත් කර ගන්නා ලද්දේ 1815 පෙබරවාරියේ දී ලුතිනන් කර්නල් ඔ කොනොල් විසිනි. ඒ ඉංගී‍්‍රසින් උඩරට යටත් කර ගැනීමේ දී ය. ඊට පසු බලන වැදගත්කම අහෝසි වී ගියේ ය. එහෙත් ඉංගී‍්‍රසින් ද ටික කලක් ගත වන තුරු මෙහි මුළු සෙබළු නවත්වා සිටි බව පෙනේ.මෙම බළකොටුව ශක්තිමත් අයුරින් තැනීමට සිංහලයන් උනන්දු වී ඇති බව එහි කළුගලින් ඉදිකළ ප්‍රාකාරවලින් පෙනේ. කොටු බැම්ම එක් පාර්ශ්වයකින් ස්වභාවික පර්වතයක් මතින් ඉදිකර ඇති අතර, ජලය බැස යාම සඳහා එම පර්වතයේ කාණු හාරා තිබේ.උඩරට මැණිකේ දුම්රිය බලන දුම්රිය පොළ පසු කරන හඬ අපට ඇසේ. දුම්රිය පොළ පිහිටා ඇත්තේ මෙම ස්ථානයට පහළින් කඳු බෑවුමේ ය. ඉංගී‍්‍රසින් උඩරට දුම්රිය මාර්ගය සහ නව මහනුවර මාර්ගය ඉදි කිරීමේ එක් අරමුණක් වූයේ ද උඩරටට පැමිණිමට තිබු බාධක ඉවත් කර තම පාලනයට වන තර්ජන මකා දැමීම යි.මෙහි සිට රජ වාසලට පණිවුඩ යවා ඇත්තේ ද අපූරු ක්‍රමයකට ය. ඊතලයකට පණිවුඩය සඳහන් තල්පත අමුණා එය මුලින්ම කන්දක තනා ඇති රත්මීවල කොටුව ද එතැනින් දන්තුරේට ද ඉන් පසු ගන්නෝරුවට සහ රජ වාසලට ද විද යවා ඇත.
No comments:
Post a Comment