Thursday, April 17, 2014

අවට බලන බලන කපොල්ල

කොළඹින් හිමිදිරියේ පිටත් වූ අප වාහනය උඩරට රාජධානියට පිවිසෙන කඩුගන්නාව කන්ද තරණය කිරීමට පටන් ගත්තේ ය. අද කොළඹ සිට මහනුවරට යන ප්‍රධාන මාර්ගය මෙය වුවත් රාජධානි සමයේ දී එම මඟ වැටී තිබුණේ බලන කපොල්ල හරහා ය.1824 දී ඉංගී‍්‍රසින් කොළඹ නුවර පාර ඉදි කිරීමෙන් පසු එම දුෂ්කර මඟ භාවිතය අත් හැරුණි. එයට පෙර මහනුවර මාර්ගය වැටී තිබුණේ හංවැල්ල, අවිස්සාවේල්ල, බුලත්කොහුපිටිය, අලුත්නුවර, ගනේතැන්න, බලන හරහා ය. මෙම දුෂ්කර මාර්ගය සතුරු සේනාවන්ට පහසු නොවීය. එය උඩරට රාජධානියේ ස්වාධීනත්වය ආරක්ෂා වීමේ ප්‍රධාන සාධකයක් විය.කඩුගන්නාව දුම්රිය පළ අසලින් ඇරැඹෙන පොත්තපිටිය පාරේ කිලෝ මීටර 5 ක් ගමන් කර, බලන දෙසට ඇති අතුරු මාර්ගයේ ගමන් කළ විට පුරාණ බලන කපොල්ල පිහිටි පෙදෙසට පිවිසිය හැකිය. එදා වන දුර්ග, තහංචි කැලෑවලින් පිරි මෙහි පැවතියේ කුඩා අඩි පාරක් පමණි.

ඉංගිරිසින් දුටු බලන
 ඉංගී‍්‍රසි පාලන සමයේ දී මේ අවට කඳු හිස් වසා ගෙන පැතිරුණු තේ වගාව අදටත් දැකගත හැකි ය. රාජධානි සමයේ දී කාර්යබහුල, මුර කපොල්ලක් වූ බලන රජුගේ අවධානය නිතර යොමු වූ ස්ථානයක් විය. අද මේ පෙදෙසට එවැනි වැදගත්කමක් හිමි නොවේ. එය අද උඩරට පිටිසර පෙදෙසක් පමණි.බලන කොටුව පිහිටා තිබෙන්නේ කඳු මුදුනක බෑවුමකට මුහුණලා ය. එයට පිවිසීමට මහා මාර්ගයේ සිට මීටර 500 ක් පමණ තේ වත්තක් හරහා කඳු නැගිය යුතු ය. ගස්වැල් පිස හමන සුළඟ අපගේ වෙහෙස පලවා හරී. අවට රුක් ගොම්මන්වල සිට ඇදී එන්නේ කුරුලු කිචිබිචියයි. උඩරට රාජධානි යුගයේ දී අපේ වීර සෙබළුන් යුරෝපීය ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව මේ අවට දී දිවි නොතකා සටන් කරන්නට ඇත.පහතරට උඩරට යා කරන කඩවත පිහිටියේ ද බලන ය. පහතරට සිට එන වෙළෙන්දන් සහ මගීන් ද මෙම කඩවතින් උඩරටට ඇතුළුවිය යුතු විය. එය මාර්ගයේ පිහිටි ආරක්ෂක මුර කපොලු සහිත ස්ථානයකි. මෙම කඩවත බලකොටුවේ සිට කිලෝ මීටරයක් පමණ ඔබ්බෙන් පිහිටා තිබිණ.‘ඔත්තු බැලීම’ යන අර්ථයෙන් මෙය බලන යනුවෙන් හඳුන්වා ඇත. මේ කොටුව සටන් කිරීම සඳහා ඉදි කළ විශාල බළකොටුවක් නොව ඔත්තු බැලීම සඳහා තැනූ කොටුවකි. ඉදිරියෙන් බලන කොටු ප්‍රාකාරයත් ඒ මැදින් පිවිසීම සඳහා ඇති පියගැට පෙළත් අපට දිස් වේ. අපි පියගැට නැඟ කොටු බිමට පැමිණියෙමු. එය අක්කර දෙකක පමණ තැනිතලා බිමකි. කඳු මුදුනක පිහිටි එහි එක් පසෙකින් හතර කෝරලේ දෙසට සෘජු බෑවුමකි. මේ නිසා පහතරට පෙදෙස ඉතා අපූරුවට මෙහි සිට දිස් වේ.උඩරට රාජධානි සමයේ දී හතර කෝරලේ ගල්බඩ කෝරලේ මායිම වැටී තිබුණේ බලන හරහා ය. අද මෙම පෙදෙස අයත් වන්නේ යටිනුවර කඳු පළාතට ය. මුහුදු මට්ටමේ සිට අඩි 2000 ක් පමණ උසින් පිහිටි බලනට දිස්වන හතර කෝරලේ කඳු අතර උසින් නැගී සිටින්නේ බතලේගල ය. ඊට මෙපිටින් ඌරාකන්ද සහ දෙවනගල පර්වතය කැපී පෙනෙනවා. මාවනැල්ල නගරයේ ගොඩනැගිලි කුඩා ගිනිපෙට්ටි පරිදි අපට දැක ගත හැකි වෙයි.සම චතුරස්‍රාකාර ආකාරයක් ගන්නා බලන කොටුව දිගින් අඩි 102 ක් ද පළලින් අඩි 116 ක් ද වේ’ දැනට දැක ගත හැක්කේ කළුගලින් ඉදි කළ පදනම් ප්‍රාකාරය පමණි. එය අඩි 4 ක ඝනකමෙන් යුක්තය. මෙය බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නැවත ප්‍රතිසංස්කරණය කරන්නට ඇති බව පෙනේ. කොටුවේ සිවු පසින් වක්‍රාකාර මුර අට්ටාල පිහිටා තිබුණු බව අත්තිවාරමෙන් පැහැදිලි වේ.මේ අසල පිහිටා ඇත්තේ අමුණුපුර ගම්මානයයි. අම්බලම්තැන්න, ඉහළ කෝට්ටේ, මාවෙල, දෙකිඳ, මොටන, ගොඩිගමුව, කැටකුඹුර, ගල්ලංග, මාලිගාතැන්න යන ගම්මාන අවට පිහිටා තිබේ.උඩරට රාජධානි යුගයේ දී රජු පැමිණි විට නවාතැන් ගැනීමට ගිමන් මාලිගාවක් ද පිහිටා තිබුණු බව පැවසේ. බ්‍රිතාන්‍ය යුගයේ දී මෙම වටිනා බිම්කඩ කුඩා දුරයා නමැත්තකුට අලෙවි කර ඇත. ඔහු එහි නිවසක් තනා අවට බිම් වගා කිරීමට යොදා ගෙන තිබේ. එහිදී පැරණි නෂ්ටාවශේෂ රැසක් විනාශ වන්නට ඇතැයි සිතිය හැකි ය.බලන පිළිබඳව ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ 1 වැනි විමලධර්මසූරිය රජ සමයේ දී ය. පේරෝ ලොර්පස් ද ස්වුසා යටතේ පෘතුගීසි බලඇණියක් 1594 ඔක්තෝබර් මාසයේ දී බලන හරහා උඩරටට පැමිණියේය. දන්තුරේ සටනින් ඔවුන් අන්ත පරාජයකට පත් කළ විමලධර්මසූරිය පෘතුගීසින් සමඟ සිටි රාජ්‍ය උරුමය සහිත කුසුමාසන දේවිය ද ලබා ගත්තේ ය.
බලන කොටු ප්‍රාකාරය
මේ පරාජය පිළිබඳව පෘතුගීසි ලේඛක ජොආඕ රිබෙයිරෝ මෙසේ සඳහන් කරයි.“වනයේ සිට ඊතල හා වෙඩි උණ්ඩ වර්ෂාවක් අප වෙත හෙළීය. අපේ හේවායෝ බලනෙන් පසු බැසීමට පටන් ගත් නමුත්, පාර හරහා ගස් කපා දමා අවහිර කර තිබුණෙන් ඔවුහු සියලු දෙනාම මරු වැළඳ ගත්තෝ ය.” (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, ටී. කේ. රුබේරු)ඊට පසු 1603 දුරුත්තේ දී යළිත් වරක් පෘතුගීසිහු උඩරට ආක්‍රමණය කළහ.“සීමන් සිංඤෝ, සමරකෝන් මුදලි හා අසවේදු යටතේ ඒකාබද්ධ හමුදාවක් බලනට පහර දුන්නේ ය. මුලදී ඔවුන්ගේ ප්‍රහාරවලින් ප්‍රතිඵලයක් නොලැබිණි. කඳු හෙල් නිසා ලොකු කාලතුවක්කු යොදා කොටුවට වෙඩි තැබීම ද නොකළ හැකි විය. බලන අල්ලා ගැනීම පිළිබඳව විමසිල්ලෙන් සිටින විට, සිංහලයකු ඒ කොටුවට හොර පාරක් පෙන්වා දීමට ඉදිරිපත් වූයෙන් පෘතුගීසි බලඇණියක් නොඉවසිල්ලෙන් කොටුවට ඇතුළු විය. එය උඩරැටියන්ගෙන් හිස්ව තිබිණ. බලන පෘතුගීසින් යටතට පත්වූයේ 1603 පෙබරවාරි 2 දා ය.” (පරංගි කෝට්ටේ, ටිකිරි අබේසිංහ)එහෙත් විමලධර්මසූර්ය රජු කොටුව හැර යාමට අණ දී ඇත්තේ යුද උපක්‍රමයක් වශයෙනි. කොටුව අල්ලා ගෙන දින 5 කදී පෘතුගීසින් සමඟ සිටි සිංහල භටයෝ සියලු දෙනාම උඩරට රජුගේ පැත්තට එක්වූහ. අසවේදු වහාම කොළඹට පසු බැසීමට අණ දුන්නේ කළ හැකි වෙනත් කිසිවක් නැති හෙයිනි. මෙහි දී ද සිංහලයන්ගේ සැඟ වී සිට පහර දීමේ යුද උපක්‍රම හමුවේ පෘතුගීසි ලෙයින් බලන අවට පෙදෙස තෙත් විය. රිබෙයිරෝ පවසන්නේ පෘතුගීසි හේවායන් 300 ක් සහ ලස්කිරිඤ්ඤ හේවායන් රැසක් ද මෙම සටනේ දී මරු වැලඳ ගත් බව යි.අපි කොටුවේ එක් අන්තයකට පැමිණ ඈත දර්ශනය බලා සිටින්නට වූයෙමු. අප සිත අතීතයට දුව යයි; තුරු පත්වල හරිත පැහැය අවට සිසාරා යන නෙතට ලක් වෙයි; මද නල වැදී මේ තුරුපත් නලියන්නේ සිහින් නාදයක් නිකුත් කරමිනි. මේ අපූරු සුසංයෝගය සිත ශාන්තියට පත් කරවයි.උඩරට ආක්‍රමණය කිරීමේ දී ඉංගී‍්‍රසිහු ද බලන කපොල්ලේ දී විශාල දුෂ්කරතාවලට ලක් වූහ. 1818 දී උඩරටට ගිය ගමනක දී මේජර් තෝමස් ස්කිනර් නම් ඉංගී‍්‍රසි ජාතිකයා ඒ බව මෙසේ ස්මරණය කරයි.“දෙවැනි දින ගමන බලන කඩවත පහළට විය. මෙයට අවුරුදු හතරකට පෙර මපියාණන් මහනුවර අල්ලා ගැනීම සඳහා ඔහුගේ කාලතුවක්කු සමූහය ගෙන ආයේ මේ දුර්ගය ඉහළට ය. මෙයින් එක් කාලතුවක්කුවක් රාත්තල් 42 ක් තරම් බර විය. මේ කටයුත්ත මගේ මවිතයට හේතු විය. තුවක්කු, ගසකින් තවත් ගසකට ඇද බැඳීමෙන් මෙසේ කෙරිණැයි මම පසුව දැන ගතිමි. මේ දුර්ග මාර්ගය බෙහෙවින් පටු, අබලන්, ප්‍රපාතාකාර ගල් සහිත එකක් හෙයින් කිසි අයෙකුට හෝ අසරුවකුට මෙය පසුකර යා නොහැකිය.” (ලංකාවේ පනස් වසක් - මේජර් තෝමස් ස්කිනර්)බලන කොටුව අවසන් වරට යටත් කර ගන්නා ලද්දේ 1815 පෙබරවාරියේ දී ලුතිනන් කර්නල් ඔ කොනොල් විසිනි. ඒ ඉංගී‍්‍රසින් උඩරට යටත් කර ගැනීමේ දී ය. ඊට පසු බලන වැදගත්කම අහෝසි වී ගියේ ය. එහෙත් ඉංගී‍්‍රසින් ද ටික කලක් ගත වන තුරු මෙහි මුළු සෙබළු නවත්වා සිටි බව පෙනේ.මෙම බළකොටුව ශක්තිමත් අයුරින් තැනීමට සිංහලයන් උනන්දු වී ඇති බව එහි කළුගලින් ඉදිකළ ප්‍රාකාරවලින් පෙනේ. කොටු බැම්ම එක් පාර්ශ්වයකින් ස්වභාවික පර්වතයක් මතින් ඉදිකර ඇති අතර, ජලය බැස යාම සඳහා එම පර්වතයේ කාණු හාරා තිබේ.උඩරට මැණිකේ දුම්රිය බලන දුම්රිය පොළ පසු කරන හඬ අපට ඇසේ. දුම්රිය පොළ පිහිටා ඇත්තේ මෙම ස්ථානයට පහළින් කඳු බෑවුමේ ය. ඉංගී‍්‍රසින් උඩරට දුම්රිය මාර්ගය සහ නව මහනුවර මාර්ගය ඉදි කිරීමේ එක් අරමුණක් වූයේ ද උඩරටට පැමිණිමට තිබු බාධක ඉවත් කර තම පාලනයට වන තර්ජන මකා දැමීම යි.මෙහි සිට රජ වාසලට පණිවුඩ යවා ඇත්තේ ද අපූරු ක්‍රමයකට ය. ඊතලයකට පණිවුඩය සඳහන් තල්පත අමුණා එය මුලින්ම කන්දක තනා ඇති රත්මීවල කොටුව ද එතැනින් දන්තුරේට ද ඉන් පසු ගන්නෝරුවට සහ රජ වාසලට ද විද යවා ඇත.

දුම්බර වැසියන් වේලාව දැනගත් මානිගල කන්ද


 

අධික වේගයෙන් හමා එන මාරුතය අපව ඔසවා වීසි කරන්නට තරම් ප්‍රබල ය. සුළඟේ වේගයට නැවෙනා වෘක්ෂයෝ යළිත් සෘජුව දිගහැරෙන්නට උත්සාහ කරති. වලාකුළු අතරින් කඩා හැළෙනා වැස්සක් පිටවල ගම්මානය දෙසට පහත්වනු පෙනේ. එම වැස්ස ක්‍රමයෙන් අප සිටිනා ඉසව්වට ද ළංවනු පෙනේ.

ළඟ එන වැස්සෙන් බේරෙන්නට වන වදුලක් සොයා අප නෙත් දිවයයි. අප මේ- සිටින්නේ දුම්බර කඳුකරයේ තවත් කඳු හිසක් වන මානිගල පර්වතය මස්තකයෙහි ය. මේ කන්ද තරණය කිරීම සොබා රසිකයන්ට චමත්කාරජනක අත්දැකීමක් එක් කර ගත හැකි චාරිකාවකි. නගරයේ අතිධාවනකාරිත්වයෙන් මිදී ගමේ සරල ජීවිතයට මඳකට ළං විය හැකි අවස්ථාවකි.

 
මානිගල කන්ද
මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල පැතිරී ඇති දුම්බර හෙවත් නකල්ස් කඳුවැටිය වනාන්තර දර්ශ කිහිපයක්ම පැතිර ඇති ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර කලාපයකි. මෙම කඳුවැටිය බටදඬුකන්ද නමින් හඳුන්වන්නේ එහි බටහිර බෑවුම අධික ලෙස බටගාල්වලින් වැසී පවතින නිසාය. නිතර මිහිදුමින් බරව පවතින නිසා එයට දුම්බර යයි පැරැන්නෝ නම් කළහ. හුන්නස්ගිරියේ සිට ලග්ගල දක්වා කිලෝමීටර 29ක දුරක් විහිදී යන මෙහි විශාලත්වය හෙක්ටයාර 30,000කි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉලුක්කුඹුර සංරක්ෂණ මධ්‍යස්ථානයේ රාත්‍රියේ නවාතැන් ගත් අපි හිමිදිරියේම මානිගල බලා පිටත් වූයෙමු.

එහි සිට ජීප් රථයෙන් රත්නින්ද දක්වා පැමිණි අපට මාර්ගයේ වම්පසින් හරිත ප්‍රාකාරයක් සේ නැඟී සිටින මානිගල කන්ද කදිමට පෙනෙයි. කඳු පාමුල නිම්නයේ හෙල්මළු ක්‍රමයට තැනූ කුඹුරු ය. ඊට මෙපිටින් බෝංචි, බටු, මිරිස් ඇතුළු බඩඉරිඟු වැනි එළවළු වගාබිම්ය.

සමහර තැනක දුම්කොල වගාවකි. මෙම චාරිකාව සංවිධානය කළ දුම්බර මිතුරෝ සංවිධානයේ නියමු නිමල් කනහැරආරච්චි අවට තොරතුරු අප ඉදිරියේ දිග හරී. රත්නින්ද සිට ඇටන්වල දක්වා ගමන් කළ යුත්තේ වළගොඩැලි සහිත බොරළු පාරකය. පිටවල රත්නින්ද දක්වා මාතලේ සිට බස් රථයක් ද ගමන් කරයි.
සරල ජීවිතයකට හුරුපුරුදු වූ ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන, එළවළු වගාව, සහ කිරිහරක් ඇති කිරීමයි. එයට අමතර ව කිතුල් මැදීම ද සිද කෙරේ. සෑම නිවසකම පාහේ ගවයකු දෙන්නකු ඇති කරනු දැකගත හැකිය. සෑම දෙසකින්ම ගලා යන ඇළ දොළ නිසා ඔවුන්ට ජලයෙන් හිඟයක් නැත.
රත්නින්ද සිට කිලෝමීටර් දෙකක පමණ ගමනකින් පසු අප පැමිණියේ තෙල්ගමු ඔය වෙතටය. මෙහි සිට ඔය තරණය කිරීමට කුඩා පාලමක් සකසා ඇත. එය මතින් වාහනයක් ගමන් කිරීමට නොහැකිය. ඔය හරහා ජීප් රථයකට පමණක් ගමන් කළ හැකිය. ඇටන්වල ගම්මානය හමුවන්නේ තෙල්ගමු ඔයෙන් එගොඩ වූ විටය.
සිහින් සුළඟක් හමා යයි. ඒ සමඟ ම හිරිපොද වැස්සක් ද ඇද හැළෙයි. මානිගල කන්ද දැන් මිහිඳුම විසින් වසාගෙන ඇත. විටින් විට සිදුවන ක්ෂණික කාලගුණ වෙනස්වීම් දුම්බර ප්‍රදේශයේදී විඳගත හැකි බවත් අපූරු අත්දැකීමකි. ‘හෝ’ හඬ නඟමින් ගල් දොරුවක් අතරින් තෙල්ගමු ඔය කඩා හැළෙන අන්දම මෙහි අඩි පාර අද්දර සිටම දැකගත හැකි ය. මෙහිදී නිර්මාණය වන සුන්දර දියඇල්ල හඳුන්වන්නේ වැද්දා පැණි ඇල්ල යනුවෙනි.
මීටර් 1637 ක් උසැති කිරිගල්පොත්ත කන්දෙන් ආරම්භ වන තෙල්ගමු ඔයේ පිරිසුදු දිය දහරාවෙන් නිර්මාණය වන මේ දියඇල්ල උසින් මීටර් 6 ක් පමණ වේ. ගල් පර්වත බහුල මේ අවට අලංකාර ජල තටාකයක් ද නිර්මාණය වී ඇත. මේ දියඇල්ල අසල ගල්ලෙනක වැලිවිට සංඝරාජ නාහිමියන් වැඩ වාසය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
ඇටන්වල ගම්මානයේ සිටි වැදි නායකයකු මී පැණි කදත් රැගෙන ගලින් ගලට පැන ඔය තරණය කිරීමට උත්සාහ කිරීමේදී ඇද වැටී මරණයට පත්වූ බවත් ඊට පසු වැද්දා පැණි ඇල්ල නමින් එය හඳුන්වන බවත් ගැමියෝ පවසති.
කි.මී. 32 ක් දුර ගෙවා තෙල්ගමු ඔය නාවුල දී අඹන් ගඟට එක්වේ.
 
දියඇල්ල අසළ සිට කඳු බෑවුමක් තරණය කිරීමෙන් පසු අප පිවිසියේ කඳු අතර පිහිටි තරමක තැනිතලා ප්‍රදේශයකට ය. ඒ ඇටන්වල ගම්මාන යයි. මුලින් ම හමුවන්නේ කෙත් යාය සහ විහාරස්ථානයයි. ඊට එපිටින් ගම්මානයේ නිවෙස් පිහිටා ඇත. මානිගල පර්වතය මේ ගම්මානය ඉස්මත්තෙන් නැඟී සිටින්නේ ආරක්ෂක පවුරක් ලෙසිනි.
එයට ‘මානිගල’ යන නම ලැබීමට හේතු වී ඇත්තේ පුරාණයේ වේලාව බලා ගැනීමට මෙම පර්වතය භාවිත වූ නිසයි. එම පර්වතයේ පිහිටි හතරැස් කොටුවක් වැනි ස්වාභාවිත විවරයට හරියට සවස 4.30 ට ඍජුව හිරු එළිය වැටෙන අතර, එහි ඡායාව පදනම් කර ගෙන වේලාව පැවසීමට ගැමියන්ට හැකි වී තිබේ.

අතරමඟ දී හමුවන ගැමියන් අප හා සිනාසෙන්නේ ළෙන්ගතු ආකාරයකිනි. නගරයේ දැකිය නොහැකි අව්‍යාජ සුහදත්වය මේ ගම්මානවල දී තවමත් දැකිය හැකි ය. හිතෙහි කහටක් නැතිව ලද දෙයින් සතුටු වී එලෙස ජීවිතය ගෙවා දැමීමට වැඩි දෙනෙකුට හැකි නම් ලෝකය කෙතරම් සුන්දර තැනක් දැයි මට සිතිණි.

පුරාණයේ දී ගමේ කේන්ද්‍රස්ථානය වූයේ විහාරස්ථානයයි. මේ ප්‍රදේශවල දී තවමත් ඒ තත්ත්වය දැකගත හැකි ය. අප විහාරස්ථානයට ගොඩ වී ගමන් බඩු එහි තබා සැහැල්ලු වූයේ මානිගල කන්ද බලා ගමන් කිරීමට ය.

කොළඹ සිට මාතලේ හරහා ඇටන්වල දක්වා දුර කිලෝමීටර් 178 කි. මේ ගමට ළඟම නගරය ලග්ගල පල්ලේගමයි. ඇටන්වල සිට ඒ වෙත දුර කිලෝ මීටර් 16.5 කි. මේ ප්‍රදේශය මීටර් 500 ක පමණ උසින් යුක්ත අතර මානිගල කඳු මුදුනේ උස මීටර් 1104 කි. ඒ වෙත ගම්මානයේ සිට කිලෝ මීටර් 3 ක් පමණ දුෂ්කර මඟක පියමං කළ යුතුවේ. කන්ද මුදුනට යෑමට සාමාන්‍යයෙන් පැය 2 - 3 ක් පමණ ගතවේ.
ඇටන්වලට යන ගමන්


 
. ගම හරහා ගමන් කළ අප පිවිසුණේ කඳු බෑවුම ඔස්සේ වැටී තිබුණ පියගැට පෙළක් වෙතය. මෙම පුරාණ කඳුකර ගම්මානවල මාර්ග පහසුව වෙනුවට ඇත්තේ ඔවුන් විසින් ම ඉදිකරගත් පියගැට පේළි ය. ඒවා තරණය කිරීමට අපට දුෂ්කර වුව ද ඔවුනට නම් එය සාමාන්‍ය දෙයක් බව පැහැදිලි වූයේ අපට මඟපෙන්වන ගැමියකු වූ හැත්තෑ හැවිරිදි විජේරත්න මාමා ගමන් කරන කඩිසර විලාසය දුටුවිටදී ය.
සමහර කාලවලදී අලි කිහිප දෙනෙක් ද මේ කඳු ප්‍රදේශයට සංක්‍රමණය වේ. වියළී ගිය අලි වසුරු අපට ද දැකගත හැකි විය. පියගැට පෙළ නිමා කරමින් මාර්ගය අඩි පාරක් බවට පත්වේ. මඳ වේලාවකින් අඩි පාර දෙකට බෙදී එක් මාර්ගයක් වන මැද පිහිටි වල්පොලමුල්ල ගම්මානය දක්වා දිව යයි. කඳු බෑවුමේ හමුවන තවත් මාර්ගයක් ඇදී යන්නේ රඹුක්ඔලුව ගම්මානයට ය.
වල් අලි තර්ජනය නිසා ලංකාවේ කුඩාම ගම්මානයක් වූ වල්පොලමුල්ල අද ගැමියන්ගෙන් තොර ජනශූන්‍ය පෙදෙසක් වී තිබීම හද පාරවන කතාවකි. කීන, බදුල්ල, ඇටඹ, මලබොඩ, මිල්ල, කරඳ, කිතුල් වැනි ශාක අවට පැතිරී ඇත.
ඈතින් ඇසුණු නාදය වළිකුකුළකුගේ ය. තුරු වියනේ පැන පැන සිටියේ කොළ වඳුරන් රංචුවකි. ගිරා මලිත්තකු පියාඹා ගියේ කිතුල් ගසක් සොයමින් විය යුතුය. මල් කපන කිතුල් ගස්වල එල්ලා තිබෙන තෙලිජ්ජ මුට්ටි බීමට ඌ ගජහපනෙකි.”
ක්‍රමයෙන් කන්ද ඉහළට නඟිත්ම ගස්වැල්වල උස අඩුවෙමින් කුරු බවට පත්වෙයි. නිරන්තර සුළඟට මුහුණදීම නිසා සුළං මුහුණතේ තිබෙන ගස් ඇඹරී ගිය ස්වභාවයක් පෙන්වයි. වසරේ මාස 6ක් අධික සුළං ප්‍රවාහයක් දුම්බර කඳුවැටිය හරහා හමා යයි. මැයි සිට සැප්තැම්බර් දක්වා සුළඟේ වේගය ඉතා අධික වේ. නිවෙස්වල පියසි පවා ගලවා වීසි කිරීමට තරම් එම සුළඟ ප්‍රබල නිසා බොහෝ නිවෙස්වල වහල මතට බර දැව ආදිය යොදා ඇත.

මානිගල කඳු මතට පිවිසි අපට දැකගැනීමට ලැබුණේ විශාල තණතලාවකි. එය අක්කර 10ක් පමණ විශාල ය. පර්වතය මත අඟල් කිහිපයක් ගනකම ඇති පස් තට්ටුව විශාල ගස් වැඩීමට හිතකර නොවේ. කරඹ, හීන්බෝවිටියා වැනි ශාක තැන තැන පැතිර ඇත. මේ තණබිම දුම්බර කඳුකරයේ වැසියන් ගවයන් තණ කැවීමට ද යොදා ගනී. මේ කඳු මස්තකය අවට උස් කඳුවැටි දැක ගැනීමට කදිම බැලුම්ගලකි.

 

හන්තානට ගමනක්



මුහුදු මට්ටමේ සිට අඩි 1400 මට්ටමේ සිට ඉහළ නඟින මෙම කඳුවැටියේ ඉහළම මුදුන අඩි 3720 උසින් යුක්ත ය. මේ ඉහළ උන්නතාංශය නිසා කඳු මුදුන් ආශි‍්‍රතව ඉතා සිසිල් දේශගුණයක් දැකගත හැකි ය.
මහනුවරට යන ඔබ නගරයට එපිටින් හරිත ප්‍රාකාරයක් සේ දිස් වන හන්තාන කඳුවැටිය නොයෙක් වර දකින්නට ඇති බව නිසැක ය. මහනුවර සුන්දරත්වය ඔපවත් කරනා මෙම කඳුවැටිය ඔබට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ඉසව්වකි. පේරාදෙණිය ගලහ පාර ඔස්සේ ගොස් විශ්වවිද්‍යාලය අසලින් මෙන් ම මහනුවර රෝහල අසලින් ඇති උඩවෙල – 4 කණුව දක්වා දිවෙන මාර්ගයෙන් ද හන්තාන අඩවියට පිවිසිය හැකි ය.


උඩවෙල මාර්ගයේ යන්නේ නම් උඩවෙල හෝ 4 කණුව බස් රථයෙන් ගොස් හන්තාන වතුයාය අසලින් බැස කන්ද තරණය කළ හැකිය. එමෙන්ම හන්තාන කන්දේ උඩවෙල මාර්ගයේ යන විට හමු වන තේ කෞතුකාගාරයක් ද ඔබට අපූරු අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයකි.

උඩරට රාජධානි යුගයේ දී නගරයේ ආරක්ෂාව සඳහා හරිත පවුරක් සේ මෙම කඳුවැටිය උපකාරී වී ඇත. රාජධානි සමයේ දී මෙය ආරක්ෂිත වනයක් ලෙස සැලකුණු බව ජෝන් ඩේව් සඳහන් කරයි. එකල ජනතාවට අවසර ලැබී ඇත්තේ මින් දර සහ වේවැල් ආදිය ගෙනයාමට පමණි. වනය හෙළි කිරීම සහ ජනාවාස ඉදිකිරීම් තහනම් කොට තිබුණි. මේ නිසා එකල මෙම වනය වන සතුන්ගෙන් ගහණ ඝන වනයක් වූවාට සැකයක් නැත.

1815 දී ඉංගී‍්‍රසින්ට උඩරට යටත් වූ පසුව නගරය අවට මෙම වනබිම්වල විනාශය ආරම්භ විය. පළමුව කෝපි සහ පසුව තේ වගාව සඳහාත් ගොඩනැගිලි සහ යුද කඳවුරු ඉදිකිරීමටත් හන්තාන කන්ද එළි කෙරිණි. එකල ආරම්භ වූ තේ වතු අදටත් මෙහි බොහෝ දුරට පැතිර තිබේ. තවත් සමහරක් ප්‍රදේශ කෝපි සහ තේ වගාවෙන් පසුව මුඩුබිම් බවට පත්ව ඇති අයුරු ඔබට දැකගත හැකි ය.

මෙම කඳුවැටියේ උපත ලබනා ඇළ මාර්ග කිහිපයක්ම මහවැලි නදියට එක්වේ. එහෙත් අද ඒවායේ දැකගත හැක්කේ අඩු ජල ප්‍රමාණයකි. හල් ඔය – ඇල්ලේවල ඇළ ඇළගොල්ල ඇළ මැද ඇළට එක්වී ගන්නෝරුව අසලින් මහවැලියට එක්වේ. බෝවල ප්‍රදේශය හරහා ගලා එන ඌරාවල ඇළ හා සියඹලන්ගෙකුඹුර ඇළ ද මැද ඇළට එක් වී මහවැලිය පෝෂණය කරයි. මහඔය – ගැරඬි ඔය යන ජල ධාරා ද මෙයින් උපත ලබා මහවැලියට එක් වන ජල ධාරා කිහිපයකි.

හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්’

ඒ ගීත රචකයකු හන්තාන දුටු අන්දමයි.
 

හන්තාන, පෙම්වතුන්ගේ පාරාදීසයක්. පේරාදෙණිය සරසවි සිසුහු හන්තාන තරණයට දැඩි ඇල්මක් දක්වති. අප කැලණිය සරසවියේ ඉගෙන ගන්නා අවදියේ දී මේ වෙත වාර්ෂික චාරිකාවක් පැමිණියා මතක ය.

1946 දී එහි ඉදිකිරීම් ආරම්භ වූයේ හන්තාන වතුයායේ පහළ බෑවුමේ ය. හන්තානෙන් ඉඩම් අක්කර 1080 ක් පේරාදෙණිය සරසවියට අයත් ය. කඳු මුදුන අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 500 ක පයිනස් වගාවක් තිබේ. ඉංගී‍්‍රසින් එකල මේ ප්‍රදේශ හඳුන්වා ඇත්තේ මට්න් බට්න් (මත්තන පතන) යනුවෙනි.

අපි මෝටර් බයිසිකලයකින් උඩවෙල මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටියෙමු. තේ වතු අතරින් මාර්ගය කඳු බෑවුම තරණය කරයි. වම් පසින් දිස් වූයේ තේ වත්තක් මැද පිහිටි තේ කෞතුකාගාරයයි. තේ කම්හලක් කෞතුකාගාරය බවට පත් කර ඇති ඉන් අප රටේ තේ වගාව පිළිබඳ තොරතුරු රැසක් ලබාගත හැකි ය.

කිලෝ මීටර හතරක් පමණ ගමන් කළ අපි මෝටර් බයිසිකලය මාර්ගය අද්දර නවතා පා ගමනින් කන්ද තරණය කරන්නට වූයෙමු. තේ වගාවන් අවට පැතිර තිබේ. මහනුවර සානුව පහළින් දිස් වේ. එයට ඔබ්බෙන් දුම්බර කඳුවැටිය සහ හුන්නස්ගිරිය නීල වර්ණයෙන් අවකාශය සරසයි. සර්ප උකුස්සකු අහසේ සරන්නේ ගොදුරකට ඉව අල්ලමිනි. ඌ එක්වරම පහතට ආවේ ගොදුරක් දුටු නිසා විය හැකි ය. සැබෑවකි. ඌ යළිත් ඉහළ නැංඟේ කටුස්සකු ද හොටෙන් ගෙන බව බයිනෝකියුලරයෙන් අපට දැකගත හැකි විය.

මාර්ගය අවට පයිනස් වන වගා සහ තැන තැන ඇති වන වදුලු දැකගත හැකි ය. විශාල පෙදෙසක පැතිර ඇත්තේ මානා සහ ඉලුක් තණ තලාවකි. ඉඳහිට මහ ගසක් හමුවන්නේ අතීත වනය පිළිබඳව ඉඟියක් කරමිනි. ඉහළින් කඳු මුදුනේ පිහිටා ඇත්තේ රූපවාහිනී විකාශන කුලුනයි. ඒ දක්වා අඩි පාරක් දිව යයි.

අද තේ වගාවක් නැතත් ඉංගී‍්‍රසි පාලන සමයේ තේ දලු කඳු මුදුනේ සිට පහළට ප්‍රවාහනය කිරීමට තැනූ කම්බි මාර්ග තවමත් ඉතිරිව පවතී. හවරිනුග, වෙරලු, ගැඩුඹ, කිතුල්, කැන්ද, දැං හිඟුරු, ඇල්බීසියා, ඇඹුල් පේර වැනි ශාක අවට දැක ගැනීමට ලැබේ. බිනර සහ උඩවැඩියා විශේෂ ද මෙහි සුළු වශයෙන් පැතිර තිබේ. කොළ දිවියා - මීමින්නා - වල් ඌරා - නරියා - හාවා - රිළවා - දඬුලේනා මෙන්ම කොටියා ද හන්තානෙන් වාර්තා වේ.

මහනුවර අවට වනගතව කොටි කිහිපදෙනකු සිටින බවට වාර්තා වී ඇති අතර උන් හන්තානේ සහ ඊට යාබද දුනුමඩලාව රක්ෂිතයේ දිවි ගෙවන බව සැලකේ.

ගවයෝ කිහිප දෙනෙක් කඳු බෑවුමක තණ කති. ඈතින් උන් බලාගන්නා ගොපලු දරුවා ගල් පව්වක් මත ඇන තියාගෙන සිටී. හන්තානේ පරිසරයට ප්‍රධාන ගැටලුවකි, වියළි සමයේ දී තණබිම් ගිනි තැබීම. අවට ප්‍රදේශවාසීහු තම ගව සහ එළු රංචුවලට අවශ්‍ය ලා තණ ලබා ගැනීමට වනය ගිනි තබති.

ගමන තරමක් දුෂ්කර ය. ඒ බෑවුම දැඩි වන නිසා ය. කඳු මුදුනේ පිහිටා ඇත්තේ රූපවාහිනී ඇන්ටෙනා කුලුනයි. ඒ වෙත දිවෙන අඩි පාර ඔස්සේ අපි ඉදිරියට ගමන් කළෙමු. රූපවාහිනි විකාශනාගාරයේ සේවක තරුණයෙක් ජල කෑන් එකක් රැගෙන පහළට එයි.

ඔහු අප හා සිනාසුණි. ජලය රැගෙන යාමට පැමිණි බව ඔහුගෙන් පැවසුණි. කඳු මුදුනට පිවිසෙන විට වේගවත් සුළඟ හමා යන්නේ අප ඉවතට වීසි කරන්නට තරම් බලවත් ආකාරයකිනි.

හාත්පස භූ විෂමතාව කඳු මුදුනට රමණීය අයුරින් දර්ශනය වේ. පේරාදෙණිය ප්‍රදේශය හරහා හරිත රුක් පෙළ අතරින් මහවැලි නදිය මතුව පෙනේ. අරණායක ප්‍රදේශයේ දොළොස්බාගේ කඳු ඇතුළු සබරගමු කඳුකරය ද මෙහි සිට අපූරුවට දැක බලාගත හැකි ය.



හන්තාන පුරාණ විහාරය

හන්තාන කන්දේ සුන්දරත්වය විඳි අප ඊළඟට ගමන් කළේ මහනුවර පිහිටි විහාරස්ථාන අතරින් ඉහළම උසකින් පිහිටා ඇති හන්තාන විහාරය වෙත ය. උඩුවෙල මාර්ගයේ යන්නේ නම් මහනුවර නගරයේ සිට විහාරයට දුර කි මී 10 ක් පමණ වේ.

කඳු වටකර ගත් තැනි බිමක පිහිටා ඇති හන්තාන විහාර භූමියට පිවිසෙන ඔබට මුලින් ම දැක ගැනීමට ලැබෙන්නේ් දාගැබ සහ විහාර මන්දිරයයි. ඒ අසලම පැරණි සංඝාරාම ගොඩනැගිල්ල ද පිහිටා තිබේ. වනවදුලින් ගහණ සහ කඳුවලින් වටවූ නිතර සුළං හමන මෙම වටපිටාව බවුන් වැඩීමට කදිම භූමියකි.

මෙම විහාරය මුලින්ම කරවා ඇත්තේ්ද ආරණ්‍යයක් වශයෙනි. එයහන්තාන ආරණ්‍යය’ නමින් හැඳින්විණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විවේකීව වැඩ සිටීමට පි‍්‍රය කළ ස්ථානයක් වශයෙන් මෙම ආරණ්‍ය සඳහන් වේ. මෙය මුලින්ම කරවා පූජා කර ඇත්තේ කහවත්තේ වනරතන හිමියන් බව පැවසේ.

1778 වර්ෂයේ ඇසළ පෝදා සරණංකර හිමියන් දන් වළඳා හන්තාන ආරණ්‍යය වෙත ගමන් කර වස් කාලය ගතකිරීමේ අදහසින් වැඩිය ද උන් වහන්සේට අසනීප ස්වභාවයක් ඇති විය. යළිත් ලැගුම් ගෙට වඩින අතර අපවත් වූහ.

සංඝරාජ හිමියන්ගෙන් පසු හන්තාන ආරණ්‍යයේ කුටි ගරා වැටී එය ජරාවාස වී යන්නට ඇති බව පෙනේ. ගරා වැටුණු ආරණ්‍යය යළිත් කටුකොහොල් හරවා විහාරස්ථානයක් බවට පත් කර ගල්බොඩ අදිකාරම විසින් සංඝාරාමයක් කරවා ඉඩමලුගොඩ ධම්මාරාම අනුනායක හිමියන්ට පූජා කළ බව පැවසේ. මෙහි විහාර මන්දිරයේ පසුකාලීන ඉදිකිරීමකි.

සංඝාවාසය මහනුවර යුගයට අයත් ගොඩනැගිල්ලකි. එය මැද මිදුලක් වටා දිවෙන කුටිවලින් සමන්විත ය. කවුළු තබා ඇත්තේ බිත්තියේ ඉහළ මට්ටමිනි. ඇතුළත පිහිටි දැව උළුවහු චන්ද්‍රවංකය සහිත ය.

මෙම ගොඩනැගිල්ල ද දිරාපත්වීම නිසා පසුකාලීන ප්‍රතිසංස්කරණවලට ලක්ව තිබෙන බව පෙනේ. දුෂ්කර ස්ථානයක පිහිටීම නිසා මහනුවරට පැමිණෙන වැඩි දෙනෙක් මෙම පුදබිම වෙත නොපැමිණෙති. එහෙත් එය දැකබලාගෙන සිත් පහන් කරගත යුතු ස්ථානයකි.