Tuesday, April 8, 2014


සිංහරාජයේ දූලි ඇල්ල

 

කලවානේ සිට විනාඩි 20 ක ගමනකින් වැද්දාගලට පැමිණි අපි ඒ කුඩා කඩ මණ්ඩියෙන් දකුණට කුඩව දක්වා දිවෙන මාර්ගයට අවතීර්ණ වූයෙමු. වැද්දාගල සිට පැතිර යන්නේ කුකුළු කෝරළේ උඩපත්තුවයි. සිංහරාජ වනාන්තරයේ අඩකටත් වඩා පැතිර පවතින්නේ කුකුළු කෝරළයයි. වළං කන්ද, ලියනෙක් කන්ද, දෙල්වල කන්ද, නෙලුවක් කන්ද, කරවිට කන්ද, නිරිඇලි කන්ද, තොරණගොඩ කන්ද, කුරුලුගල වැනි කඳු වැටි උඩපත්තුවේ සිංහරාජ සීමාවෙන් මෙපිට පැතිර තිබේ.

කුඩව දක්වා දිවයන මාර්ගය පටු ය. එය කඳු බෑවුම් හරහා ඉදිරියට ඇදී යයි. කලවානේ සිට කුඩව දක්වා බස් රථ ද ධාවනය වේ. පොදු ප්‍රවාහන සේවයකින් සිංහරාජ වනය හා අවට සුන්දරත්වය විඳ ගනු රිසි නරඹන්නන්ට බස් රථවල පැමිණීමට ද පුළුවන. කුඩව ගම්මානයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවාතැන් මෙන් ම පෞද්ගලික නවාතැන් කිහිපයක් ද පිහිටා තිබේ. කලවානේ සිට කුඩවට ඇති දුර කි.මී. 12.5 කි. කොළඹ සිට රත්නපුර කලවාන හරහා මේ වෙත කි.මී. 154 ක් වන අතර කොළඹ මතුගම කලවාන හරහා ඇති දුර කි.මී. 117 ක් වේ.

ඈතින් දිස්වන සිංහරාජයේ හරිත වර්ණ කඳු වැටි පසුකරමින් අපි කුඩවට ළඟා වුණෙමු. මාර්ගය දෙපසම වන ගැබ පැතිර ඇති බැවින් හිරු එළිය වැටෙන්නේ යාන්තමිනි. කුඩව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ නවාතැන අසල වාහනය නවතා තැබූ අපගේ අරමුණ වූයේ පිටකැලේ දූවිලි ඇල්ල සොයා යාමය. ගැමියන්ගෙන් අසා දැනගත් මඟ සලකුණු ඔස්සේ අපි ඉදිරියට පිය මැන්නෙමු.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දූවිලි ඇල්ල නමින් හඳුන්වන දියඇලි කිහිපයක් ම පිහිටා තිබේ. ඒ අතරින් නෙලුව ප්‍රදේශයේ තවත් දූවිලි ඇලි දෙකක් දැකගත හැකි ය. වැද්දාගල කුඩව ප්‍රවේශයෙන් පැමිණෙන සොබා රසිකයන්ට නැරඹිය හැක්කේ පිටකැලේ දූවිලි ඇල්ලයි. ඉතා සුන්දර මේ දිය ප්‍රවාහය නරඹන්නේ සිංහරාජයට පැමිණෙන්නන් අතරින් සුළු පිරිසක් පමණි. පිට කැලේ දූවිලි ඇල්ල පිහිටා ඇත්තේ සිංහරාජ ලෝක උරුම වන සීමාවෙන් පිටත ය. ඒ නිසා එය නැරඹීමට යාමට ප්‍රවේශ පත්‍ර හෝ මඟ පෙන්වන්නන් ලබාගත යුතු නොවේ. කොස්ගුලන ගඟ හරහා ඇති පාලමෙන් එගොඩ වූ අපි ගම්මානය ඔස්සේ දකුණට දිව යන (පිටකැලේ වෙත දිවෙන) කුඩා මාවතකට අවතීර්ණ වූයෙමු.

දියඇල්ල අසලට මෙහි සිට කි.මී. 2 ක් පමණ පා ගමනින් යා යුතු ය. මේ මාර්ගය මඳක් දුර යනතෙක් කොන්ක්‍රීට් අතුරා තිබේ. තැන තැන පිහිටි වන වදුලු හා බඩවැටි අතරින් මාර්ගය වංගු ගැසෙමින් ඇදී යයි. තුරු ගොමුවලින් වැසුණු නිවාස දැකගත හැක්කේ පලින් පල ය. මේ අවට විදුලිබලය නැති බැවින් බොහෝ දෙනා පෞද්ගලිකව ජල මාර්ග හරස් කර කුඩා ටර්බයින්වලින් නිවෙස්වලට විදුලිය සපයා ගන්නා අන්දම දැකගත හැකි ය. දූවිලි ඇල්ල ආශ්‍රිතව ද කුඩා ජල විදුලි බලාගාරයක් ක්‍රියාත්මක වේ.

මේ ගම්මානවල ජනයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ තේ වගාවයි. කුඩා තේ වතු සෑම ගෙවත්තක් ආශ්‍රිතවම වගා කර ඇත. එයට අමතරව වනාන්තරයේ කිතුල්ගස් මැද කිතුල්පැණි හා හකුරු නිපදවීමත් සිදු කෙරේ. උදෑසන 7.00 ට පමණ සහ සවස 5.00 ට පමණ වශයෙන් දිනකට දෙවරක් කිතුල් මැදීම සිදුවේ. එම තෙලිදිය උණුකර ලබාගන්නා හකුරු වලට වෙළෙඳපලේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

කිතුල් ගසක වසා සිටි ගිරාමලිත්තකු එහි තෙලිදිය මුට්ටියට ඉව අල්ලයි. අළු ගිරවකු තවත් අත්තක වසා ඒ මේ අත බලමින් සිටී. ගම්මානය පසු කළ අප පිවිසුණේ තේවතු යායකට ය. එය ඔස්සේ කඩතොලු සහිතව මාර්ගය ගමන් කරයි. තේ වත්තේ බංගලාව කඳු මුදුනක කදිමට දිස්වේ. එයට ද විදුලිය ලබාගෙන ඇත්තේ කුඩා ටර්බයිනයක් මාර්ගයෙනි. තේ වත්ත පියමං කළ අපි පයිනස් වනාන්තරයකට පිවිසුණෙමු.

වෙලාව උදෑසන 9.30 පමණ විය. අහසේ වක්‍රාකාරව කැරකෙමින් සිටි සර්ප උකුස්සකු එක් වරම ඊ ගසක් මෙන් පහළට ආවේ ගොදුරක් දුටු නිසා විය යුතු ය. පඳුරු ගොම්මනක සිට නැගී ආවේ වළිකුකුළකුගේ නාදයකි. කලවානට එපිටින් පිහිටි සබරගමු කඳු අහස අල්ලන්නට මෙන් ඉහළ නැඟ සිටී. අපි මාර්ගය අද්දර පිහිටි ගල් පව්වක වාඩිගෙන බිස්කට් අනුභව කර ජලය පානය කළෙමු. දුන්, කැකුණ වැනි මහා ගස් අතරින් පතර දැකගත හැකි ය. මල් වෙරළු, ඇටඹ, බටුනා, වනය විවිධාංගීකරණය කරයි. පුස්වැල්, වෙනිවැල්, බඹර වැල්, කැකුළු වැල් වැනි ලතා වර්ග ශාක අතර ඒ මේ අත එල්ලී වැවී ඇත. මෙහි දැකගත හැක්කේ ප්‍රාථමික වනාන්තරය විනාශ වීමෙන් පසු ඇති වූ ද්විතියික වන පෙතකි. අතීතයේ සිංහරාජයටම අයත් මේ වනාන්තර තේ ඇතුළු වාණිජ බෝග සඳහා විනාශ කර ඇත.



දියඇල්ලේ නාදය අනවරතයෙන් සවන්පත්හි වැටේ. දියඇල්ල අසලට යාමට මාර්ගයේ සිට දකුණු පසට වනය හරහා අඩි 200 ක් පමණ පල්ලම් බැසිය යුතු ය. ධූලි ඇල්ල හා දූලි ඇල්ල ලෙස ද හැඳින්වූ මෙම ජල ප්‍රවාහය ආරම්භ වන්නේ වෙන්නිල කන්දෙනි. එය පෙතියකන්ද ගඟ හරහා ගලා ගොස් කොස්ගුලන ගඟ පෝෂණය කරයි. ඊට පසුව කුකුලේ ගඟට එක්ව කළු ගංගාවට වැටේ.

පිටකැලේ දූවිලි ඇල්ල සිංහරාජයේ පළලම දියඇල්ලයි. එය පිහිටීම අතින් දුම්බර කඳුවැටියේ සේරැල්ලට සමාන ය. අඩි 75 ක් පමණ ඍජු ගල් දොරුවක් ඔස්සේ කඩා හැලෙන දිය ඇල්ලේ උස අඩි 30 කි. මෙහි අප යනවිට ජලය කඩා හැලුණේ පර්වතයේ එක් ස්ථානයකින් පමණි. අධික වර්ෂාව පවතින විට සම්පූර්ණ පර්වතයම වසා ගනිමින් ජල කඳ කඩා හැලේ.



 සිංහරාජය අවට ප්‍රදේශයට නිතර වර්ෂාව කඩා හැලෙන නිසා නරඹන්නන් මේ දියඇල්ල නැරඹීමට පැමිණෙන විට වර්ෂාව තරමක් අඩු කාලයක් තෝරා ගැනීම යහපත් ය. එසේ නොවුණහොත් අනපේක්ෂිත ධාරානිපාත වැසි වලට කොටුවීමට සිදුවනු ඇත. දෙසැම්බර් - අප්‍රේල් සහ අගෝස්තු - සැප්තැම්බර් කාලය දූවිලි ඇල්ල සහ සිංහරාජය නැරඹීමට හොඳම කාලයයි.

 

 

No comments:

Post a Comment