දුම්බර වැසියන් වේලාව
දැනගත් මානිගල කන්ද
අධික වේගයෙන් හමා එන මාරුතය අපව ඔසවා වීසි කරන්නට තරම් ප්‍රබල ය. සුළඟේ වේගයට නැවෙනා වෘක්ෂයෝ යළිත් සෘජුව දිගහැරෙන්නට උත්සාහ කරති. වලාකුළු අතරින් කඩා හැළෙනා වැස්සක් පිටවල ගම්මානය දෙසට පහත්වනු පෙනේ. එම වැස්ස ක්‍රමයෙන් අප සිටිනා ඉසව්වට ද ළංවනු පෙනේ.
ළඟ එන වැස්සෙන් බේරෙන්නට වන වදුලක් සොයා අප නෙත් දිවයයි. අප මේ- සිටින්නේ දුම්බර කඳුකරයේ තවත් කඳු හිසක් වන මානිගල පර්වතය මස්තකයෙහි ය. මේ කන්ද තරණය කිරීම සොබා රසිකයන්ට චමත්කාරජනක අත්දැකීමක් එක් කර ගත හැකි චාරිකාවකි. නගරයේ අතිධාවනකාරිත්වයෙන් මිදී ගමේ සරල ජීවිතයට මඳකට ළං විය හැකි අවස්ථාවකි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉලුක්කුඹුර සංරක්ෂණ මධ්‍යස්ථානයේ රාත්‍රියේ නවාතැන් ගත් අපි හිමිදිරියේම මානිගල බලා පිටත් වූයෙමු.
එහි සිට ජීප් රථයෙන් රත්නින්ද දක්වා පැමිණි අපට මාර්ගයේ වම්පසින් හරිත ප්‍රාකාරයක් සේ නැඟී සිටින මානිගල කන්ද කදිමට පෙනෙයි. කඳු පාමුල නිම්නයේ හෙල්මළු ක්‍රමයට තැනූ කුඹුරු ය. ඊට මෙපිටින් බෝංචි, බටු, මිරිස් ඇතුළු බඩඉරිඟු වැනි එළවළු වගාබිම්ය.
සමහර තැනක දුම්කොල වගාවකි. මෙම
චාරිකාව සංවිධානය කළ දුම්බර මිතුරෝ සංවිධානයේ නියමු නිමල් කනහැරආරච්චි අවට තොරතුරු අප ඉදිරියේ දිග හරී. රත්නින්ද සිට ඇටන්වල
දක්වා ගමන් කළ යුත්තේ වළගොඩැලි සහිත බොරළු පාරකය. පිටවල රත්නින්ද
දක්වා මාතලේ සිට බස් රථයක් ද ගමන් කරයි.
සරල ජීවිතයකට හුරුපුරුදු වූ ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන, එළවළු වගාව, සහ කිරිහරක් ඇති
කිරීමයි. එයට අමතර ව කිතුල් මැදීම ද සිද කෙරේ. සෑම නිවසකම පාහේ ගවයකු දෙන්නකු ඇති කරනු දැකගත හැකිය. සෑම දෙසකින්ම ගලා යන
ඇළ දොළ නිසා ඔවුන්ට ජලයෙන් හිඟයක් නැත.
රත්නින්ද සිට කිලෝමීටර් දෙකක පමණ ගමනකින් පසු අප පැමිණියේ තෙල්ගමු
ඔය වෙතටය. මෙහි සිට ඔය තරණය කිරීමට කුඩා පාලමක් සකසා ඇත. එය මතින්
වාහනයක් ගමන් කිරීමට නොහැකිය. ඔය හරහා ජීප්
රථයකට පමණක් ගමන් කළ හැකිය. ඇටන්වල ගම්මානය හමුවන්නේ තෙල්ගමු ඔයෙන් එගොඩ වූ විටය.
සිහින් සුළඟක් හමා යයි. ඒ සමඟ ම හිරිපොද වැස්සක් ද ඇද හැළෙයි.
මානිගල කන්ද දැන් මිහිඳුම විසින් වසාගෙන ඇත.
විටින් විට සිදුවන ක්ෂණික කාලගුණ වෙනස්වීම් දුම්බර ප්‍රදේශයේදී විඳගත හැකි බවත් අපූරු අත්දැකීමකි. ‘හෝ’ හඬ නඟමින් ගල්
දොරුවක් අතරින් තෙල්ගමු ඔය කඩා හැළෙන අන්දම මෙහි අඩි පාර අද්දර සිටම
දැකගත හැකි ය. මෙහිදී නිර්මාණය වන සුන්දර
දියඇල්ල හඳුන්වන්නේ වැද්දා පැණි ඇල්ල යනුවෙනි.
මීටර් 1637 ක් උසැති කිරිගල්පොත්ත කන්දෙන් ආරම්භ වන තෙල්ගමු ඔයේ
පිරිසුදු දිය දහරාවෙන් නිර්මාණය වන මේ දියඇල්ල උසින් මීටර් 6 ක් පමණ වේ. ගල් පර්වත බහුල මේ අවට අලංකාර ජල තටාකයක් ද නිර්මාණය වී ඇත. මේ දියඇල්ල අසල ගල්ලෙනක
වැලිවිට සංඝරාජ නාහිමියන් වැඩ වාසය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
ඇටන්වල ගම්මානයේ සිටි වැදි නායකයකු මී පැණි කදත් රැගෙන ගලින් ගලට
පැන ඔය තරණය කිරීමට උත්සාහ කිරීමේදී ඇද වැටී මරණයට පත්වූ බවත් ඊට
පසු වැද්දා පැණි ඇල්ල නමින් එය හඳුන්වන බවත්
ගැමියෝ පවසති.
කි.මී. 32 ක් දුර ගෙවා තෙල්ගමු ඔය නාවුල දී අඹන් ගඟට එක්වේ.
දියඇල්ල අසළ සිට කඳු බෑවුමක් තරණය කිරීමෙන් පසු අප පිවිසියේ කඳු
අතර පිහිටි තරමක තැනිතලා ප්‍රදේශයකට ය. ඒ
ඇටන්වල ගම්මාන යයි. මුලින් ම හමුවන්නේ කෙත් යාය සහ විහාරස්ථානයයි. ඊට එපිටින් ගම්මානයේ නිවෙස් පිහිටා ඇත. මානිගල
පර්වතය මේ ගම්මානය ඉස්මත්තෙන් නැඟී සිටින්නේ
ආරක්ෂක පවුරක් ලෙසිනි.
එයට ‘මානිගල’ යන නම ලැබීමට හේතු වී ඇත්තේ පුරාණයේ වේලාව බලා ගැනීමට මෙම පර්වතය භාවිත වූ නිසයි. එම
පර්වතයේ පිහිටි හතරැස් කොටුවක් වැනි ස්වාභාවිත විවරයට හරියට සවස 4.30 ට ඍජුව හිරු එළිය වැටෙන අතර, එහි ඡායාව
පදනම් කර ගෙන වේලාව පැවසීමට ගැමියන්ට හැකි වී තිබේ.
අතරමඟ දී හමුවන ගැමියන් අප හා සිනාසෙන්නේ ළෙන්ගතු ආකාරයකිනි. නගරයේ දැකිය නොහැකි අව්‍යාජ සුහදත්වය මේ ගම්මානවල දී තවමත් දැකිය හැකි ය. හිතෙහි කහටක් නැතිව ලද දෙයින් සතුටු වී එලෙස ජීවිතය ගෙවා දැමීමට වැඩි දෙනෙකුට හැකි නම් ලෝකය කෙතරම් සුන්දර තැනක් දැයි මට සිතිණි.
පුරාණයේ දී ගමේ කේන්ද්‍රස්ථානය වූයේ විහාරස්ථානයයි. මේ ප්‍රදේශවල දී තවමත් ඒ තත්ත්වය දැකගත හැකි ය. අප විහාරස්ථානයට ගොඩ වී ගමන් බඩු එහි තබා සැහැල්ලු වූයේ මානිගල කන්ද බලා ගමන් කිරීමට ය.
කොළඹ සිට මාතලේ හරහා ඇටන්වල දක්වා දුර කිලෝමීටර් 178 කි. මේ ගමට ළඟම නගරය ලග්ගල පල්ලේගමයි. ඇටන්වල සිට ඒ වෙත දුර කිලෝ මීටර් 16.5 කි. මේ ප්‍රදේශය මීටර් 500 ක පමණ උසින් යුක්ත අතර මානිගල කඳු මුදුනේ උස මීටර් 1104 කි. ඒ වෙත ගම්මානයේ සිට කිලෝ මීටර් 3 ක් පමණ දුෂ්කර මඟක පියමං කළ යුතුවේ. කන්ද මුදුනට යෑමට සාමාන්‍යයෙන් පැය 2 - 3 ක් පමණ ගතවේ.
ඇටන්වලට යන ගමන් |
. ගම හරහා ගමන් කළ අප පිවිසුණේ
කඳු බෑවුම ඔස්සේ වැටී තිබුණ පියගැට පෙළක් වෙතය. මෙම පුරාණ කඳුකර ගම්මානවල මාර්ග පහසුව වෙනුවට ඇත්තේ ඔවුන් විසින් ම
ඉදිකරගත් පියගැට පේළි ය. ඒවා තරණය කිරීමට අපට
දුෂ්කර වුව ද ඔවුනට නම් එය සාමාන්‍ය දෙයක් බව පැහැදිලි වූයේ අපට මඟපෙන්වන ගැමියකු වූ හැත්තෑ හැවිරිදි විජේරත්න මාමා ගමන්
කරන කඩිසර විලාසය දුටුවිටදී ය.
සමහර කාලවලදී අලි කිහිප දෙනෙක් ද මේ කඳු ප්‍රදේශයට සංක්‍රමණය වේ.
වියළී ගිය අලි වසුරු අපට ද දැකගත හැකි විය. පියගැට පෙළ නිමා කරමින්
මාර්ගය අඩි පාරක් බවට පත්වේ. මඳ වේලාවකින්
අඩි පාර දෙකට බෙදී එක් මාර්ගයක් වන මැද පිහිටි වල්පොලමුල්ල ගම්මානය දක්වා දිව යයි. කඳු බෑවුමේ හමුවන තවත් මාර්ගයක් ඇදී
යන්නේ රඹුක්ඔලුව ගම්මානයට ය.
වල් අලි තර්ජනය නිසා ලංකාවේ කුඩාම ගම්මානයක් වූ වල්පොලමුල්ල අද
ගැමියන්ගෙන් තොර ජනශූන්‍ය පෙදෙසක් වී තිබීම හද
පාරවන කතාවකි. කීන, බදුල්ල, ඇටඹ, මලබොඩ, මිල්ල, කරඳ, කිතුල් වැනි ශාක අවට පැතිරී ඇත.
ඈතින් ඇසුණු නාදය වළිකුකුළකුගේ ය. තුරු වියනේ පැන පැන සිටියේ කොළ
වඳුරන් රංචුවකි. ගිරා මලිත්තකු පියාඹා ගියේ
කිතුල් ගසක් සොයමින් විය යුතුය. මල් කපන කිතුල් ගස්වල එල්ලා තිබෙන තෙලිජ්ජ මුට්ටි බීමට ඌ ගජහපනෙකි.”
ක්‍රමයෙන් කන්ද ඉහළට නඟිත්ම ගස්වැල්වල උස අඩුවෙමින් කුරු බවට
පත්වෙයි. නිරන්තර සුළඟට මුහුණදීම නිසා සුළං
මුහුණතේ තිබෙන ගස් ඇඹරී ගිය ස්වභාවයක් පෙන්වයි. වසරේ මාස 6ක් අධික සුළං ප්‍රවාහයක් දුම්බර කඳුවැටිය හරහා හමා යයි. මැයි සිට
සැප්තැම්බර් දක්වා සුළඟේ වේගය ඉතා අධික වේ. නිවෙස්වල පියසි පවා
ගලවා වීසි කිරීමට තරම් එම සුළඟ ප්‍රබල නිසා
බොහෝ නිවෙස්වල වහල මතට බර දැව ආදිය යොදා ඇත.
මානිගල කඳු මතට පිවිසි අපට දැකගැනීමට ලැබුණේ විශාල තණතලාවකි. එය අක්කර 10ක් පමණ විශාල ය. පර්වතය මත අඟල් කිහිපයක් ගනකම ඇති පස් තට්ටුව විශාල ගස් වැඩීමට හිතකර නොවේ. කරඹ, හීන්බෝවිටියා වැනි ශාක තැන තැන පැතිර ඇත. මේ තණබිම දුම්බර කඳුකරයේ වැසියන් ගවයන් තණ කැවීමට ද යොදා ගනී. මේ කඳු මස්තකය අවට උස් කඳුවැටි දැක ගැනීමට කදිම බැලුම්ගලකි.
No comments:
Post a Comment