Thursday, April 17, 2014


වතුර වැටෙන රුව බල ගොස් සේරැල්ලේ



 


නෙත් මානයේ පැතිරෙන මහා කඳු වැටි, ඒ අතර සැඟවුණු තැනිතලා බිම්, සුන්දර ඇළ දොළ හා දිය ඇලි ආදියෙන් සමන්විත හෙක්ටයාර් 30,000 ක් පුරා විහිදුණු දුම්බර කඳුකරය සොබා සුන්දරත්වයෙන් අනූන බිම්කඩකි.

මෙහි සැඟව පවතින දියඇලි සංචාරකයන් ආකර්ෂණය කරනා සුන්දර ළඳුන් කණ්ඩායමක් වැන්න. බඹරකිරිඇල්ල, වැද්දාපැණි ඇල්ල, සේරැල්ල ඇල්ල, රත්නින්ද ඇල්ල දුම්බර දූවිලි ඇල්ල ඒ කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.

ඉහත සඳහන් දියඇලි අතරින් වඩාත් සුන්දර කුමන ඇල්ල දැයි ඇසුවහොත් සෑම සංචාරකයකුම පාහේ ලබා දෙන්නේ එකම පිළිතුරකි. ඒ ‘සේරැල්ල ඇල්ල’ යන්නයි. දුම්බර කඳු අතර පිහිටි පුරාණ ගම්මානවල ගැමියෝ මේ දියඇලි දෙස ගෞරවයෙන් බැලූහ.

ඒ නිසා ම ඔවුහු සිය කාන්සිය දුරු කර ගැනීමට ගායනා කරන ජන කවි අතරට දියඇලි පිළිබඳ කවි ද රචනා කර ඇතුළත් කළහ. මේ එවැනි කවියකි.

බටදඬුවෙන් ගඟ වැටිලා හුරතල්ලේ
ඇතුන් විතර ගල් පර්වත දිය ඇල්ලේ
තුරු බිය කරයි දුටුවොත් ඒ ඇල්ලේ
වතුර වැටෙන රුව බල ගොස් සේරැල්ලේ

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොත්තටවෙල ගම ආශ්‍රිතව වනයෙහි මෙම දිය ඇල්ල පිහිටා තිබේ.

දුම්බර කඳුවැටිය විවිධ දේශගුණික කලාප සහිත පරිසර පද්ධතියක් වන අතර සේරැල්ල අවට ප්‍රදේශයේ දැකගත හැක්කේ වියළි කලාපීය දේශගුණයකි. මේ අවට වියළි මෝසම් වනාන්තර පැතිර තිබේ.

මාතලේ පිටවල හරහා හෝ ලග්ගල පල්ලේගම හරහා ඉලුක්කුඹුරට පැමිණ එහි සිට කි.මී. 5 ක් දුරින් පිහිටි පුවක්පිටිය කඩමණ්ඩියේ සිට තවත් කි.මී. 3 ක් දුරින් සේරැල්ල පිහිටා ඇත. පුවක්පිටිය දක්වා මාතලේ සිට බස් රථයක් ධාවනය වේ. එහි සිට පා ගමනින් හෝ පෞද්ගලික වාහනයකින් දිය ඇල්ල සමීපයට ගමන් කළ හැකි ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉලුක්කුඹුර නකල්ස් සංරක්ෂණ මධ්‍යස්ථානයේ රාත්‍රි නවාතැන් ගත් අපි පසුදින උදෑසන සේරැල්ල වෙත ගමන් කළෙමු.

අවට ගම්මාන සහ වනාන්තර පසු කරමින් ඇදී ගිය වෑන් රථය පොත්තටවෙල ගම්මානයට පැමිණියේ දුෂ්කර මඟක් ගෙවමිනි. බොරළු පාර කඩතොලු වීම නිසා වාහනය පැදවිය යුතු වූයේ ඉතා පරිස්සමෙනි. අපට මඟ පෙන්වූ ‘දුම්බර මිතුරෝ’ පරිසර සංවිධානයේ නියමු නිමල් කණහැරආරච්චි මේ අවට විස්තර අප හමුවේ තබයි.

මෙතන ඉඳන් කැලේ මැදින් ටිකක් දුර පයින් යන්න වෙනවා” ඔහු පවසයි.

දියඇල්ල වෙතට යාමට මාර්ගය අද්දර සිට කඳු බෑවුමක පහළ නිම්නයට ගමන් කළ යුතු විය. මේ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 1300 ක පමණ උසකින් යුක්තය. වියළි කලාපීය වනපෙතක් සිහිපත් කරනා තුරුලිය අතරින් අප ගමන් කළේ තෙත් කඳුකර වනාන්තරයක සිට උපත ලබා පැමිණෙන ජල දහරාවකින් නිර්මාණය වන දියඇල්ලක් දැක ගැනීමට ය. හදිසියේ ම අව් රැල්ල නිවා දමමින් වැස්සක් කඩා හැලෙන්නට විය. දුම්බරට මෙවැනි ක්ෂණික කාලගුණික විපර්යාස අරුමයක් නොවේ.

අඩි පාර අද්දර පිහිටා තිබූ ස්වභාවික ගල් ගුහාවකට අප ගියේ වැස්සෙන් බේරීමට ය. ගුහාව අඩි 100 ක් පමණ දිගට පැතිරී තිබුණි. එහි ගල් පර්වත අතර මුල් විහිදූ ගස් ඉහළට වැවී හිරු එළිය සොයා ගොසිනි.

මෙහි අඳුරු මුළු වාසස්ථාන කර ගත් කිරි වවුලෝ “කීස්... කීස්” හඬින් පියාඹා ගියහ. මෙවැනි ගල් පර්වත සහිත ගුහා දුම්බර වැටියේ දිවි ගෙවන ඉත්තෑවන්, තලගොයන් වැනි සතුන්ට පමණක් නොව කොටියාට පවා වාසස්ථාන සලසයි.

වැස්ස තූරල් කර ඇත. අහසේ හිරු බැබළෙන බව ගස් අතරින් පෙරී එන හිරු රැස් කදම්බ ඉඟි කරයි. ‘සට... සට’ හඬින් ගස් පත්‍රවලින් වැහි බිඳු වැටෙන අතර අපි යළිත් ඉදිරියට ගමන් කළෙමු. මොර, බදුල්ල, මිල්ල, ඇටඹ වැනි ගස්වැල් අතරින් ඇල්ල ගලා හැලෙන නාදය අප සවන්පත් පිනවන්නට විය.

ඉදිරියෙන් කඳු බෑවුම සිරසට ඇදී ගිය ඍජු බිත්තියක් වැනි කළුගල් පර්වතයක් ඔස්සේ තෙල්ගමුඔය කඩා හැලේ. එය ගල් පර්වතයේ වම් පසින් සහ දකුණු පසින් කොටස් දෙකක් වශයෙන් කඩා හැලෙන්නේ පහළ පිහිටි ජල තටාකයකට ය.

දියඇල්ල පළලින් මීටර් 20 ක් පමණ වන අතර උසින් මීටර් 11 කි. මේ සොඳුරු දසුන දුටු මට මතක් වූයේ විභූතිභූෂණ ඛන්දොපාධ්‍යායගේඅරණකට පෙම් බැඳ’ (පරිවර්තනය - චින්තා ලක්ෂ්මී සිංහාරච්චි) නවකතාවේ කොටසකි.

සොබාදහම් රැජිනිය තමා කෙරෙහි භක්තිමත් වූවන්ට දෙන්නේ අමිල ධනයකි. කාලයක් තිස්සේ නොකඩවා ඇයට සේවය කළහොත් මිසක කිසිවකුට මේ ධනය නොලැබේ. ස්වභාවික පරිසරයට ඇලුම් කරන තැනැත්තා ඒ සමඟම විසිය යුතුය. ඒ අතර වෙනත් අතකට හිත යොමු කළොත් අමනාපයට පත් වන ඇය තමාගේ මුහුණ ඔහුට නොපෙනෙන්නට සළු පොටකින් සඟවා ගනී.”

එසේ කිසිදු සඟවා ගැනීමකින් තොරව දුම්බර කඳුවැටිය සිය සොබා සුන්දරත්වය අප ඉදිරියේ දිගහැර තබා ඇත. අපි දියඇල්ල කඩා හැලෙන පර්වතයේ දකුණු පස පිහිටි ගුහාවට ගියෙමු.

දියඇල්ලක් ඇතුළට යාමේ භාග්‍යය මෙලෙස ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එම දුලබ අවස්ථාව සේරැල්ලේ දී ඔබටත් විඳගත හැකි ය. දැන් දියඇල්ලේ ජලය සුදු පෙණ විසුරුවමින් අප ඉදිරියෙන් කඩා හැලෙයි.

සොබාදහමේ සුන්දරත්වය වචනයෙන් විස්තර කිරීමට අසීරු බවත් එය විඳ ගැනීමෙන් ම පසක් කරගත යුතු බවත් මෙවැනි ස්ථානවල දී අපට වැටහේ.

දුම්බර කඳුවැටියේ ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන තෙල්ගමු ඔය සේරැල්ලේ නිර්මාපකයා ය. තෙල්ගමු ඔය උපත ලබන්නේ දුම්බර කිරිගල්පොත්ත කන්දේ ජල උල්පත්වලිනි. පිටවල පතන ප්‍රදේශයෙන් ඇරඹෙන පතනේ ඇළත් ගෝනාමඩ ඇළත් දියඇල්ල තැනීමට පෙර තෙල්ගමු ඔයට එක්වී මෙහි ජලය පෝෂණය කරයි. දියඇල්ල තනනා මේ දිය දහර වන වඳුලු අතරින්, ගල්පර්වත පසු කරමින් ගලා ගොස් නාවුල තලාගොඩ දී අඹන් ගඟට එකතු වේ.

පුරාණයේ කාර ගංගාව නමින් හැඳින්වූ අඹන් ගඟ හරස් කර අපේ පැරැන්නෝ එහි ජලය ඇළහැර ඇළට යොමු කළහ. අංගම්මැඩිල්ලේ දී අඹන් ගඟේ ජලය පරාක්‍රම සමුද්‍රය පෝෂණය කිරීමට යොදා ගත්හ. වර්තමානයේ මොරගහකන්ද ජලාශය තැනෙන්නේ ද මෙහි ජලයෙනි.

සේරැල්ලේ පහළට බැස එය තවත් සුන්දර කෝණයකින් දැකගැනීමට අපි ගමන් කළෙමු. ඇල්ලෙහි ජලය වැටෙනා ජල තටාකයේ ඒ මේ අත පිහිනනා මසුන් අතර කැපී පෙනුණේ දුම්බර ගල් පාඩියා සහ දුම්බර මල් පෙතියාය. දුම්බර කඳු වැටියට පමණක් සීමා වූ ශ්‍රී ලංකාවට ආවේණික මෙම මත්ස්‍ය විශේෂ අද වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටී.

ඔය දෑලේ වැවී ඔය දෙසට අතු ඉති නැවී ඇති කුඹුක්, තිඹිරි, අට්ටික්කා, මකුල්, මී, දඹ, බක්මී වැනි වෘක්ෂවල සෙවණ යටින් තෙල්ගමුඔය සිරිසිරියාවෙන් ගලා බසී. මේ නිම්නය ගල් පර්වත බහුලය. ශීඝ්‍ර බැස්මකින් යුක්තය. අවට ගංගාධාර වනාන්තර පැතිරී තිබේ.

 

No comments:

Post a Comment