Tuesday, April 8, 2014


                           කිතුල්ගල කුරැලුකැලේ හෙවත් මාකන්දාව


කැහිබෙල්ලා
 

කිතුල්ගල තානායම අසලින් එගොඩවීමෙන් පසු අපට මාකන්දාව වනාන්තරයට පිවිසිය හැකිය.

ඉදිරියට ගමන් කළ අපි මඳ බෑවුමක් නැගීමෙන් පසු පිවිසියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරැ මධ්‍යස්ථානයටය. වනයටම ගැලපෙන පරිදි ඉදිකළ ගොඩනැගිල්ලකින් එය සමන්විත විය.

මඳක් විවේකගත් අපි එහි සිට වනට තුළට දිවෙන අඩි පාරේ ගමන් කළෙමු. වනතුරැ අතරින් වැටී ඇති මාවත අනන්තය තෙක් ඇදී යන්නාක් වැන්න. එලෙසම වනයද අනන්තය. එහි ජෛව විවිධත්වය ගැන කලින් කල අලුත් තොරතුරැ මතුවේ. මෑතකදී සොයාගත් ශාක විශේෂය ද එවැනි හමුවීමකි.

කුඩා කඳුගැට කිහිපයක් ආශ්‍රිතව පැතිරැණු මේ නිවර්තන වර්ෂා වනාන්තරය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ය. එය මාකන්දා මූකලාන සහ බණ්ඩාර කැලය වශයෙන් කොටස් දෙකකට බෙදා පාලනය ‍‍ෙකරේ. නරඹන්නන්ට පහසුකම් සලසා ඇති මාකන්දා මූකලාන විශාලත්වයෙන් හෙක්ටයාර් 195කි. එය පරවලතැන්න, කොස්කඳහේන, පල්ලෙබාගේ යන ගම්මානවලට සහ උතුරැ පසින් කැලණි නදියට මායිම්වී ඇත. බණ්ඩාර කැලය හෙක්ටයාර් 154ක් විශාල වන අතර, නාවෙල, බල්ලාහෙල, විලගම යන ගම්මානවලට සහ කැලණි නදියට මායිම්ව පිහිටියේය.

දැන් වේලාව දහවල් දෙකට පමණ ඇති බව හෝරා යතුර දක්වයි. එහෙත් වනයේ සිටින අපට දැනෙන්නේ හවස් යාමේ අඳුරැ ගොම්මන් වේලාවේ සිටින බවකි. අවට පැතිර ඇත්තේ මන්දාලෝකයකි. පක්ෂියකු කෑගසන හඩ සහ රුහැයි නාදය හැරෙන්නට වනය අපූරැ නිශ්ශබ්දතාවයක ගිලී පවතී. කොළයක් බිම පතිත වන හඩ පවා එහි නිශ්ශබ්දතාවයට බාධා නොකරයි. මංපෙත ඔස්සේ වැටී දිරාපත්වන දූන, හොර, බෙරැ පත්‍ර අතරින් අපි ඉදිරියට පියමං කළෙමු. පක්ෂින් නැරඹීමට පැමිණි විදේශික නඩ ඉඳහිට අපට හමුවෙයි. ඔවුන් දුර බලන උපකරණ යොදාගෙන මෙහි දිවිගෙවන දුලබ ආවේණික පක්ෂීන් දැකගැනීමට පෙරැම් පුරති.


මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම ආරම්භයේ පිහිටි මේ වනපෙත මුහුදු මට්ටමේ සිට මීටර් 250 සිට 760 දක්වා උස් මට්ටමක පැතිර පවතී. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි. මී. 2000-3000 අතර වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-32 අතර වේ. ජල වාෂ්ප බහුල වාතයේ ආර්ද්‍රතාවය වැසි සමයට ඉහළ නගී.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතරින් (මේ සංඛ්‍යාව ගැන මතවාද පවතී) විශේෂ 28ක් පමණ කිතුල්ගල ජීවත්වෙති. මේ නිසා මාකන්දා වනය පක්ෂි පාරාදීසයක් වශයෙන් දෙස් විදෙස් සොබාදම් ලෝලයක් අතර ජනප්‍රියව පවතී.

තුරැපත් මුණුමුණුවෙන් සැලෙයි. ක්‍රීං ක්‍රීං හඩින් ගස් එකට ඇතිල්ලෙයි. කුරැලු කිචිබිචිය ඒ හඩ පරදවයි. අපි මේ සොබාදහමේ නාදයන්ට සවන්දෙමින්

 


ඈතින් දුටු නිල් පැහැති කැහිබෙල්ලන් රංචුවේ පක්ෂින් සිව්දෙනෙක් පමණ වූහ. රංචු වශයෙන් කෘමින් සොයායාමට කැහිබෙල්ලා දක්වන්නේ කැමැත්තකි. ඉතා අලංකාර මේ පක්ෂියා කිතුල්ගල ඇතුළු සබරගමුවේ වනාන්තර අලංකාර කරන ප්‍රධාන ආකර්ශනයකි. මෑතකදී සොයාගත් නිශාචර ආවේණික පක්ෂියකු වූ පඩුවන් බස්සා ද මෙහි වෙසේ. එහෙත් උ! දැකගැනීම නම් ලෙහෙසි නොවේ. මෙම වනය හැරෙන්නට ඌ වාර්තා වන්නේ සිංහරාජය, ගිලීමලේ සහ මොරපිටිය රෑනකන්දේ පමණි. දුඹුරැ පැහැති මේ පක්ෂියා කන්දිග බස්සාට සමානය. පෙඳය කොටය. පාද සහ නිය සුදු පැහැතිය.   

හිසසුදු ශාරිකාවා නම් දුලබ ආවේණික පක්ෂියා ද මෙහි වෙසේ. ගිරා මලිත්තා, අළු ගිරවා, හබන් කුකුළා, මයිලගොයා, අළු කෑදැත්තා, පුල්ලි වල් අවිච්චියා, සිළු කවුඩා, වත රතු මල් කොහා, රතු දෙමලිච්චා, අළු දෙමලිච්චා, ලංකා මූකලන් සැලලිහිණියා, මුදුන්බොර දෙමලිච්චා, දෑ දෙමලිච්චා, ලේ රතු කෑරලා, බඩරතු වැහිලිහිණියා වැනි ආවේණික පක්ෂිහු ද මෙම තුරු නිවහන් කොටගෙන ටසිටිති. මෙරට නේවාසික පක්ෂි විශේෂ  432 අතරින් විශේෂ 123ක්ද මින් වාර්තා වේ. සර්පඋකුස්සා, කළූකුස්සා, සහ කුරුලුගොයා ඒ අතර විශාල මාංශභක්ෂක පක්ෂිහු වෙති.

දොළ පහරක් හරහා දමා ඇති කළුගලින් කළ පාලමකි. ඒ අතර පැරණි මාර්ගයක නටබුන්ද හමුවේ. මේ 1970 දශකයේ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වන පෙත දැව සඳහා කැපූ සමයේ ඉදිකළ මාර්ගයක නටබුන් ය.

පොළොව වියළී අැති බැවින් කූඩැල්ලන්ගෙන් වන ගැහැටින් නම් අප බේරී ඇත. ඒත් වර්ෂා සමයේ එන සංචාරකයන් කූඩැල්ලන්ගෙන් බේරීමට උපක්‍රම භාවිත කළ යුතුය.  අහස උසට නැගුණු ගස්වැල් අතිරින්  හිරැ එළිය යාන්තමින් ගලාඑයි. ඇළ මාර්ගයේ ඉහළට ගිය අපට පර්වත අතරින් දොළ පහරක් ගලා බස්නා තැනක් හමුවිය.  ඒ අවට වනය කලකට ඉහත එළිකර තිබුණ ද දැන් යළිත් වැවෙමින් පවතී. දොළ පාරේ කළුගල්වලින් නිර්මාණය වී ඇති ජල තටාකවල ඒ මේ අත පිහිනන මසුන් සුලබ ය. කැළණී ගං ද්‍රෝණියේ මේ වනබිම අාවේණික මසුන්ට කෙම්බිමකි. අප රටට ආවේණික මත්ස්‍ය විශේෂ 33 අතරින් විශේෂ 13ක් මින් හඳුනාගෙන ඇත. කළු පැහැති මගුරකු පර්වත විවරයක් තුළින් පිටතට විත් කරකැ‍ෙවයි. අලංකාර බුලත්හපයන් සහ ලේතිත්තයන් නිදහසේ පිහනති. ඒ අතර පර්වත පෘෂ්ඨවල ඇලීසිටියේ ගල්පාඩින් ය. අශෝක පෙතියා ද මේ අවට දියමාර්ගවල ජීවත්වුණත් මෑතක සිට උන් දුලබ වී ඇති බව අපට දැනගැනීමට ලැබුණි. පදුරු ගොම්මනක සිට පැන දිව්වේ හාවෙකි. ඒ හැරුණු විට වල් උෟරා මෙහි සුලබය. කොළ දිවියා, උණහපුලුවා, ඉත්තෑවාථ දඩු ලේනා, මූකලන් ලේනා, මුගටියා යන ක්ෂීරපායීහුද මෙහි සරති. ක්ෂීරපායී ලෝකයේ සුන්දර කොටියා ද මෙහි ජීවත් වුණත් උන් දැකගැනීම නම් අසීරු ය.

වනයේ ඉදිරියට ගමන් කරන අපට ලේන්තැරි අැල්ලට සහ ඇතා නාපු වළට මඟපෙන්වන නාම පුවරුව දක්නට ලැබුණි. අප ගමන් කළේ ඇතා නාපු වළ වෙත ය. මීටර 30-40ක් උසැති වියන් ස්තරය යටින් පිටමං කරන අපට නාඉඹුල්, හොර, කැකුණ, වල්දෙල්, දුන්, බදුල්ල, මැන්දෝර, වල්දූරියන්, කොස්, දොඹ, හැඩවක, මිල්ල, කීන, රදලිය, ගොකටු, කිතුල් වැනි ශාක දක්නට ලැබෙයි. දියමාර්ග අසල වැවී ඇත්තේ දියනා, මිදෙල්ල, ගොඩපර, හොඩපර වැනි ශාකය. වෙනිවැල්, වේවැල්, පුස්වැල් වැනි ලතා වර්ග අපූරැ ලතාමඩුලු නිර්මාණය කර ඇත. උස් තුරැ අතර සරසා කළු වඳුරන් දෙදෙනෙක් අපට බියෙන් ඈතට පලා ගියහ. රිලව් රංචුවට නම් අපගේ පැමිණීම වගේවගක් නැති ගාණ ය.

 
 

  •  

No comments:

Post a Comment